ජාතික ළමා ගීයක් ළඟදීම
මෙවර ලෝක ළමා දිනයේ දී ජාතික ළමා ගීතයක් සහ ජාතික ධජයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙවර ලෝක ළමා දින ජාතික උත්සවය ඔක්තෝබර් 01 දා අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ. ළමා දින ජාතික සැමරුම් උත්සවයට පාසල් දරු දැරියන් දහසක් පමණ සහභාගි වන අතර අගමැති දි.මු. ජයරත්න මහතා ද මෙම උත්සවයට සහභාගි වේ. “මේ දරු කාගේ - නුඹගේ අප ගේ - සුරකිමු රට දැය වාගේ” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර ළමා දින ජාතික උත්සවයට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිවයින පුරා ළමා වැඩසටහන් රැසක් පැවැත්වේ.
ළමා දින සැමරුම් මුද්දරයක් නිකුත් කිරීම ද මෙදින සිදු කැරෙන අතර ලංකාවේ ජනප්‍රිය හා විද්වත් පුද්ගලයන්ගේ ළමා කාලය අළලා සැකසුණු ග්රන්ථයක් එළි දැක්වීම ද සිදු කැරේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ ළමා කාලය ඇතුළු තවත් විද්වත් පුද්ගලයන් 41 දෙනකු ගේ තොරතුරු ඊට ඇතුළත් ය. ‘පිපිතඹරන’ නමින් නම්කර ඇති මේ කෘතියට වැලමිටියාවේ කුසල ධම්ම හිමි, බෙල්ලන්විල විමලරතන හිමි, අර්නස් පෝරුතොට, ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇතුළු විද්වත් පිරිසකගේ ළමා කාලය පිළිබඳ තොරතුරු ඇතුළත් ය.
පාසල් දස දහසක ළමා ආරක්ෂක කමිටු
තුෂාරී කළුබෝවිල
දිවයින පුරා පාසල් දස දහසක ළමා ආරක්ෂක කමිටු පිහිටුවීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.
පාසල් පරිසරයේදී දරුවන් අපයෝජනයට ගොදුරුවීම වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධ වෙමින් මෙම පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටුවීමට නියමිත බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා "දිවයින"ට පැවසීය.
මේ යටතේ දරුවන්ගේ විවිධාකාර ගැටලු හඳුනා ගැනීමටත්, දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීම හා අවශ්‍ය අවස්ථාවලදී උපදේශන සේවා පැවැත්වීමටත් ක්‍රියාකරන බව ඇමැතිවරයා කීවේය.